Saturday, September 24, 2011

කොන්ඩෙ කප්පවා ගැනීමත් ලෝක අමාරු වැඩකි

ඔන්න එකෝමත් එක දවසක මම ගියා බාබර් සාප්පුවට කොන්ඩෙ කපා ගන්ඩ. නැතුව ඉතින් අල හිටවන්ඩ යෑ. හරි හරි කොහොමහරි බස් එකෙන් බැහැල බලද්දි ඒ මගුල වහල. පුරුදු තැන හින්ද ටිකක් දුර උනත් එතනින්ම තමයි මං කොන්ඩෙ කපන්නෙ. වෙන එවයින් කපන්ඩ ගිහින් කොන්ඩෙ පජාත කරල දායි කියල හිතිල ආපහු ගෙදර යන්ඩ බස් එකට නැග්ග.

බාගයක් දුර යද්දි මට හිතුන අලුත් තැනක් test කොරල බලන්ඩ. සෝ තව බාබර් සාප්පුවක් තියන තැනකින් බැස්ස. ඇතුලෙ හිටියෙ බාබරුයි එවෙලෙ කපමින් තිබුනු කොන්ඩෙ අයිතිකාරයයි විතරයි. ටයිමිං එක හොඳයි වගේ. ඇතුලට ගිහින් ඉඳගත්තම බාබර් කියපි "මල්ලි මම තව දවල්ට කාල නෑ, මෙයාගෙ කපල මං කන්ඩ ඕනෙ, ටිකක් වෙලා යයි" මාත් තව කාල නෑ යකෝ නොකිය මං බැස්ස එලියට. බස් එකක් එනකං බලං හිටිය, නෑ - පයින්ම ඇද්ද හෝල්ට් 2ක් ඊලඟ pot එකට.

ඒකෙත් අර විදිහමයි, වේටිං ලිස්ට් එකේ කවුරුත් නෑ, ඒ විතරක් නෙමේ ඒ යකත් කියපි කන්ඩ ඕනෙ කියල. (ආ එහෙනම් කාපන්කො කියල) මාත් හිටිය ඉඳගෙන. කල්පයක් විතර ගියාට පස්සෙ පොර ආව, පොර ආව විතරයි ලයිට් ගියා. "අප්පා උදේ ඉඳන් ඔහොම තමයි මල්ලි, යනව එනව, ටිකක් ඉමුකො බලන්ඩ" මල්ලි කිව්වට මොකෝ ඌ අපේ තාත්තටත් වඩා වයසයි. ඉඳල ඉඳල මං යන්ඩ හදනකොට මූ කියනව "පාරෙන් එහා පැත්තෙ අලුතින් දාපු සැලුන් එකක් තියන්ව, ඒකට නම් ලයිට් තියනව වගේ". දැන්ද කියන්නෙ කියල උටත් සත්තමක් දාල මං ගියා ඒකට.

වේටිං ලිස්ට් එකේ තව දෙන්නෙක් හිටියට අද කොන්ඩෙ කපාගෙනම යනව කියල තිර අධිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන මාත් ඉඳ ගත්ත. තුන් දෙනෙක්ගෙ කපනකං කල්ප දෙකහමාරක් බලං හිටියට පස්සෙ බාබර් අයිය (අයියද අක්කද මන්ද) කියනව "අනේ මල්ලි මං තව කාල නෑ විනාඩි 10ක් දෙන්ඩ මං ටක් ගාල කාල එන්නම්" !@#$%^&**&^%$#@! 

තුන් වෙනි බාබරුත් කනකං පට්ට බඩගින්නෙ බලං ඉඳල කොන්ඩෙ කපාගෙන මං ගෙදර ආව. මේ සීන් එක මට චාටර් උනාට තොට ආතල් හින්දයි දැම්මෙ. පාරෙදි හම්බ වෙලා මඩ ගහන්ඩ ආවොත් තෝවත් යවනව කොන්ඩෙ කපන්ඩ....

කතාවෙන් ගත හැකි ආදර්ශය :-
ලන්ච් ටයිම් එකේ කොන්ඩෙ කපන්ඩ යන්ඩ එපා !

3 comments:

  1. පිටසක්වලයාටත් ඔය බාබර් සාප්පු එක්ක පොඩි ඔරොප්පුවක් තියෙනවා.. මම ඉන්න හන්දියෙ බාබර් සාප්පු දෙක තුනක්ම තිබ්බට මම කොණ්ඩෙ කපන්න කිලෝමීටර් දෙකක් විතර එහා තියෙන පොට් එකකට යනවා.. මොකද හන්දියෙ තියෙන හැම සැලූන් එකකම බුවාලා මම ගියහම බනිනවා... “මේකට තෙල් ටිකක් දාලා පීරගෙන එනවකො ඕයි... “ කියලා

    ReplyDelete
  2. අපේ හන්දියෙත් එකක් තියෙද්දි තමයි ඔය මං බස් එකෙත් ගිහින් කපං එන්නෙ. හන්දියෙ ඉන්න දෙමළ බාබරා කොන්ඩෙ කපන ගමන් ඔලුවෙන් ගියර් දානව. මට ඕකව දිරවන්නෙම නෑ.

    ReplyDelete
  3. මට තවත් බාබරා සීන් එකක් මතක් වුනා.. මේක වුනේ මීට මාස දෙක තුනකට කලින්... ඔන්න දවසක් පිටසක්වලයා කොණ්ඩෙ කපන්න ගියහම අතිශය ඓශ්‍චර්යමත් විදිහට කිසිම පෝලිමක් තිබුනෙ නෑ.. ඉතින් අඩුම තරමෙ බාබරාවත් නෑ.. ඉතිං ටිකක් වට පිට බල බල ඉන්න කොට “ආ.. වාඩිවෙන්න සර්..“ කියල කඩේ පිටිපස්ස පැත්තෙන් ඇහුනා.. ඉතින් මාත් ලෝඩ් පකීර් වගේ හොඳට හරි බරි ගැහිලා වාඩි වුනා..

    ටික වෙලාවකට පස්සෙ ඩයල් එක එනවා “බලන්නකො සර්, කණ්නාඩිය බිම වැටුනනෙ..“ කියලා. බැලින්නං ඩයල්එක උගේ ඇස් කන්ණාඩිය බිම දාගෙන ෆේරේම් එක වෙනම.. කණ්නාඩිය වෙනම..
    “මොනවා කරන්නද සර්, කොහොම හරි කපමු...“ මළ මඟුලයි.. දැන් ඉතින් නැඟිටලා යන්න කියලයෑ..
    මූ දැන් හිතේ හෝදිසියට කොන්ඩෙ කපනවා.. මම හැම කතුරු පාරකටම පස්සෙ ඔළුව උස්සලා බලනවා මගේ අවයව සේරම ති‍යෙනවද කියලා..
    කොහොම හරි මගෙ පූරුවෙ වාසනාවකට කිසි ආපදාවක් නැතුව කොණ්ඩෙත් කැපුනා.. මම දෙවියන්ට පින් දිදී ගෙදර ගියා..

    ReplyDelete